නම් පෙරළිය
කට්ටකමින් අග තැන්පත් – කෙනෙකු නිසයි බබයියාට ‘කට්ට බබයිය” යි කියාලා -හැම මිනිහම කීවේ…
විසි වසරක් කෑ දීගේ – කට්ට බබයියාගේ බිරිය දවසක් යම් කරුණක් -නිසා බහින් බස් වී…
ඇගේ මව් පියන් ලඟට – වෙන්වී ගිය බැවින් එදා එන පාටක් නොපෙනෙන විට – වෙනින් කතක් සෙව්වා…
කන වැන්දුම් වෙලා හිටිය – එකියක දුප්පත් ගෙදරක කට්ට බයියා දවසක් – කපුටු ඇහින් දුටුවා…
වත් පොහොසත් කමේ තරම – දහයෙන් වැඩි කොට පෙන්නා ඇගෙ මව් පියන් දෙපොලට – හරි ලණුවක් දුන්නා…
උසට මහත හැඩහුරුකම – හොඳටම හොඳ මේ යුවතිය කට්ට බබයියගේ ගෙදරයි -දැන් නම් පසු වන්නේ…
අකලට ඉස කෙස් පැහිලා – සුදුවන් කපු පුළුන් වගේ ගිය අංගෝ වගේ නොවෙයි – කදිමයි මේ සංගෝ …
සිකිපිල් කළබක් සමාන – කළුවන් දිග වරළ මැගේ කට්ට බබයියගේ වයසෙන් – කොටසක් පෙන්වනවා…
කළුවන් කෙස් හරි හරියට – සුදු ඒවත් තිබෙන හිසේ කට්ට බබයියා දැන් නම් – ජයට ඉන්න කාලෙයි…
කන්න බොන්න අඩු වෙන කොට – පළමු බිරිය වන අංගොත් කට්ට බබයියගේ ලඟටම – තරහ නැතුව ආවා…
කට්ට බබයියා එතැනදි – මුල් බිරියත් පිළි අරගෙන දෙදෙනාටම සමගි සිතින් – ඉන්න නියම කෙරුවා…
කලබලයක් නැහැ කොහෙත්ම – අංගොත් සංගොත් දෙන්නම කට්ට බබයියට හිතැතිව – හොඳහැටි පවතිනවා…
නිවාඩුවක් ඇති වුනාම – වැඩි ආදර පෙන්නා ගෙන ඔළුව බලන්නත් සමහර – දිනවල පැමිණෙනවා…
සංගෝ ආවොතින් එහෙම – නාකි ගතිය නැති කරන්න කට්ට බබයියගේ සුදුවන් – ඉස කේ ගලවනවා…
අංගොගෙ ඉස සුදු හින්දා – දෙන්න හොඳට ගැලපෙන්නට ඈ පැමිණෙන දවස් වලදි – කළු ටික උදුරනවා…
ටිකක් මෙහෙම කල් යන කොට – බනිස් ගෙඩිය වගේ තිබුණු කට්ට බබයියගේ කොණ්ඩය – බටු ගෙඩියට බැස්සා…
තවත් ටිකක් කල් යන කොට – සුදු කළු ඉස කෙස් සේරෝම නැතිවී ඉබි කටුව වගේ – ඔළුවත් ඔප වැටුනා…
ඔළුවේ කෙස් ගහක් නොමැති – තට්ට බබයියට ඉන් පසු “තට්ට බබයිය’ යි කියාලා – අලුත් නමක් ලැබුණා…
සමහර වැඩ ගැහැණුන්ටම – ඕනෑ හැටියට කරන්න දුන්නොත් අන්තිමේ එයින් – පලක් නැතිව යනවා….
පසු වදන :- … මේ කවිය ඇති ‘කතා කවිත්ත’ නම් කවි පොතේ එක් පින්තූරයක, ‘මහගම සේකර’ යයි ලියා තිබුනා මතකයි. මේ එක් ආරකට යන පින්තූර, එක් පුද්ගලයෙක් ඇඳි පින්තූර බව ඔබට පෙනේවි. මේ කවි පොත අඩුම ගානේ අවුරුදු 50 ක් වත් පරණයි. පොතේ කවරය නැහැ. කව්රු මේවා ලිව්වද දන්නේ නැහැ. සමහරවිට මෙය මහගම සේකර මහතාගේ තරුණ කාලයේ කෘතියක් වෙන්න පුළුවන්. හැකි විදියට ඒ නිර්මාණ කොපි කර පල කරන්නම්…
Leave a Reply