කෝපි කාලේ

කෝපි කාලේ

     … මොනවා හරි පරණ තාලේ දෙයක් දැක්කාම, ‘ඕක ඉතින් කෝපි කාලේ වැඩක් නේ’ කියන එක ගම්බද ව්‍යවහාරයේ එන සිරිතක්. කෝපි වලට ‘එමිලි’ කියන වසංගතය ආවේ නැත්නම්, අදත් ලංකාවේ කෝපි තියෙන්නට ඉඩ තිබුනා. සමහරවිට කෝපි ගස, තේ ගසට වඩා පරිසරයට හිතකර වෙන්නත් ඉඩ තිබුනා. කෝපි පානය තේ පානය කිරීම සමඟ සසඳන විට, ධනවතුන්ගේ පානයක් වෙන අතර කෝපි වගා කරන්නන් එතරම් මිලක් ලැබෙන්නේ නැහැ. හේතුව කෝපි කෝප්පයක මිළ තේ කෝප්පයක මිලට වඩා ඉතා වැඩි වීමත්, වගා කරුවන්ට එයින් ලැබෙන ළාභය අඩුවීම නිසාත් වෙනවා. අළුතෙන් කෝපි වගාවට එක්වූ වියට්නාමය දැන් දැන් හොඳ කෝපි වර්ග වගා කරනවා. තෝරාගත් වානිජ අරමුණු සහිතව උසස් කෝපි වවන්නට ලංකාවට හැකියාවක් තියෙන නිසා එය විශේෂිත ආකාරයට දියුණු කර ගැනීමට අවධානය යොමු කිරීම වැදගත්ය. රොබස්ටා සහ ඇරබිකා යන කෝපි අපේ රටේ පහසුවෙන් වවන්නට පුළුවන්. අප කුඩා කාලයේ කෝපි වෙළඳ පොළකින් මිළදී ගත්තේ නැහැ. ගෙදරම කෝපි බැදලා කොටලා, පිටි කරලා පානය කිරීමයි සිදු වුයේ. බඩේ අමාරුවලට විශේෂයෙන්ම කෝපි ගුණ දෙන බව සත්‍යයක්…

… හොඳම කෝපි ඇත්තේ ඉතියෝපියාවෙන් කියා කියනවා. එහි සත්‍යයක් තියෙන්නට පුළුවන්. හේතුව, කාලයක් යන තුරුම ඉතියෝපියාව අන් රටවල් වලින් ඈත්ව හුදකලාවේ සිටි නිසා අදත් ඒ අවුරුදු දහස් ගණනක් පැරණි පැරණි කෝපි පානය කිරීමේ සිරිත, එනම් ‘කෝපි උත්සවය’ එහි පැවැත් වෙනවා. ඉතියෝපියාවේ මිනිස්සු කවදාවත්, තමන්ගේ රට බටහිර ජාතීන්ට යටත් වෙන්න දුන්නේ නැහැ. ඉතියෝපියාවේ ආහාර වේලක අනිවාර්යයෙන්ම කෝපි පානය කිරීම අඩංගු වෙනවා.ජපානයේ තේ පානය කිරීම උත්සවයක් වෙනවා මෙන්ම, ඉතියෝපියාවේ කෝපි පානය කිරීමද උත්සවයක් ලෙස සලකනවා…

… කෝපි පානය තේ පානය කිරීම සමඟ සසඳන විට, ධනවතුන්ගේ පානයක් වෙන අතර කෝපි වගා කරන්නන්ට එතරම් මිලක් ලැබෙන්නේ නැහැ. කෝපි කෝප්පයක මිළ තේ කෝප්පයක මිලට වඩා ඉතා වැඩි වීමත්, වගා කරුවන්ට එයින් ලැබෙන ළාභය අඩුවීම නිසයි. අළුතෙන් කෝපි වගාවට එක්වූ වියට්නාමය දැන් දැන් හොඳ කෝපි වර්ග වගා කරනවා. මෙතනදී ලංකාවට අනුගත වෙච්ච කෝපි වල මලේ සුවඳ ගැනත් නොකියා බැරි දෙයක්. හිමිදිරි උදයේ පාසැල් යන විට දැනෙන ඒ සුවඳ අදත් දැනෙනවා වගේ. මේ කෝපි ගස් සහ ගෙඩි වල පින්තුර නකල්ස් මායිමේදී ගත්තා. ඔය අනෙක් පින්තුරය, ඉතියෝපියාවේ පෙට්ටි කඩයක කෝපි බොන විට ගත් පින්තුරයක්…

… යුරෝපීයයන් විසින් මුලින්ම ලංකාවේ වගාව ආරම්භ කලේ නුවර දිස්ත්‍රික්කයේ කියා කියනවා. ඒ අනුව ඒ ආකාරයට වැවු කෝපි ගස්, තවමත් නුවර දිස්ත්‍රික්කයේ තවලම්තැන්න කියන ගම්මානයේ දකින්න පුළුවන්. ඒ ගම්මානයේ සිට නකල්ස් දෙසට යනවිට ඇති වන බුටැවේ මේ කෝපි ගස් තියෙනවා. මේවා බොහෝ කාලයකට පෙර ඉංග්‍රීසින් සිටි යටත් විජිත වාදී පාලන සමයේදී වැවිලි කරුවන් විසින් ගෙන ආ කෝපි වලින් පැළවුණු ඒවා විය යුතුයි …

… කෝපි ගස බටහිර මිනිසුන් ලංකාවට එන්නට පෙරත් තිබුනා. එය බොහෝ විට ලංකාවට ගෙන එන්න ඇත්තේ ‘සේද මාවත’ ක්‍රියාත්මක වන කාලයේ වෙළඳාම් කල පර්සියන් වරු විසින්ය කියා කියනවා. එහෙත් ඒ මුල් යුගයේ කෝපි ලංකාවේ දේශීය ජනතාව පානය කලේ නැහැ …

… ඒ කාලේ කෝපි කොල හොදි වලට රස කාරකයක් ලෙස දැම්මා කියා පැරණි අය කියනවා මම අහලා තියෙනවා. ඒ වගේම කෝපි මල් සුවඳ නිසාත්, ලස්සණ නිසාත් බුදුන් පුදන්නට කැප බව එදා පැරැන්නන් කිව්වා. බුදුන් පුදන්නට කෝපි මල් අදත් සමහර පළාත්වල අය ගන්නවා …

… පසු කාලෙක ලංකාව යටත් කරගත් එංගලන්තයේ සුදු ජාතිකයන්, කෝපි වවන්න මුලින්ම උත්සාහ කලේ ගාල්ල ප්‍රදේශයේ. එවකට ආන්ඩුකාරයාව සිටි එඩ්වර්ඩ් බාන්ස් (1824-1831), ලංකාවේ කඳුකරයේ කෝපි වගාව සාර්ථක වේයැයි කියා සිටියා …

… එහෙත් ලංකාවේ කෝපි වලට හොඳ කලක් ආවේ, හේතුව වහල් නීතිය නැති වූ නිසා වහළුන් ගේ අඩුපාඩුව ඇතිවීම නිසයි. මේ හේතුව නිසා බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල වහළුන් ගෙන් වැඩ ගන්නට නොහැකි වුනා. මේ නිසා බටහිර ඉන්දීය කොදෙව් දුපතේ කෝපි වගාව අඩු වූ හේතුවෙන් එංගලන්තයට ආනයනය කල කෝපි ප්‍රමාණය අඩු වීම සිදු වුනා. මෙන්න මේ කාලේ තමා ලංකාවට විය යුතු ලොකුම පාරිසරික විපත වුනේ. එනම් කෝපි වවන්නට හෙක්ටෙයාර් 31,800 ක ස්වභාවික වන සම්පත කපා විනාශ කර දැමීමයි …

… ‘ලංකාවේ දර්ශන’ කියන 1881 දී වෙරෙකර් හැමිල්ටන් සහ ස්ටුවර්ට් ෆේසන් ලිව් පොතේ කෝපි වැවූ බ්‍රිතාන්‍යයන්ගේ ජීවිතය පහත සේ කියනවා.එහි ඇති කවියක් ඉංග්‍රීසි භාෂාවෙන්ම පහත දක්වනවා. පවුන් කීපයක් සොයාගන්නට කල මිළ කල නොහැකි, අති විශාල වන හානිය එයින් පෙන්වනවා. අවුරුදු මිලියන ගාණක් පැවතුනු වනය නැති වී ගිය පසු ඒ වනයත් සමඟ ජීවත්වූ අනන්ත සතුන් වනයත් සමඟම විනාශ වෙලා ගියා …

The ruthless flames have cleared his lands; No trace remains of green; When lost in thought our Planter stands, And views the sterile scene.

In dreams he sees his Coffee spring, Fed by the welcome rain; And berries many a dollar bring To take him home again.

… ඉන්දියාවෙන් ගෙන්වන ලද කම්කරුවන් විසින් කෝපි වැවූ පසු , ක්ෂිතිජය තෙක් විහිදෙන අක්කර ගණනාවක කෝපි දකින්නට හැකි වුනත් එය ඒකාකාරී දසුනක් වුනා. ස්වභාවික වනයක ගස් සහ සතුන් අතර ඇති ගතික සමතුලිතතාවය, සහජීවනය නැති වී ගියා. වනයේ ගස් කපා විනාශ කල නිසා බොහෝ ජල පහරවල් විනාශවී ගියා. අද ලංකාවේ කලින් කලට ඇතිවන නියඟය පටන් ගත්තේ මෙන්න මෙහෙමයි. එහෙත් සුද්දා එක හොඳ දෙයක් එදා කලා. ඒ ලංකාවට ආදරේට නොවේ, එහෙත් කෝපි ඇට වලින් කෝපි තනන්න භාවිතා කල වතුරෙන් ක්‍රියාත්මක කල යන්ත්‍ර ක්‍රියාකාරී කරවන්නට අඩුම දිය පහරවල් පවතින සේ සමහර කඳු මුදුන් වල වනය කපා ඉවත් කලේ නැහැ …

… කෝපි ගස් වැවුණු පසු, මීටර් 1.2 ක් පමණ උසින් කපනවා. නෙළා ගත් කෝපි ඇටවල ලෙල්ල ඉවත් කරන්න ඉන්පසු ‘පල්ප් යන්ත්‍රය’ කියන එක භාවිතා කරනවා. ඊළඟට කරන්නේ, කෝපි ඇට පැය 18ක් පමණ පල් වෙන්න විශාල ලී පෙට්ටිවල අසුරනවා. අවසානයේ සති තුනක් වේලා යන්ත්‍ර මගින් කුඩු කර, එක් එක් ප්‍රමාණයේ තත්ත්ව යටතේ අසුරනු ලබනවා …

… තවලම්තැන්න ගම්මානයේ සිට නකල්ස් දෙසට යනවිට දකින්න ඇති වන බුටැවේ අදටත් කෝපි ගස් දකින්නට පුළුවන්. මේවා බොහෝ කාලයකට පෙර ඉංග්‍රීසින් සිටි යටත් විජිත වාදී පාලන සමයේදී වැවිලි කරුවන් විසින් ගෙන ආ කෝපි වලින් පැළවුණු ඒවා විය යුතුයි. වැඩි හරියක් වැවිලි කරුවන් පැමිණියේ ස්කොට්ලන්තයෙන්. අනපේක්ෂිත ආකාරයට වසංගත රෝගයක් බෝ වීමෙන් පසු වගාකරුවන්ට කෝපි වගාව නවත්වා, තේ වගාව ලංකාවේ පටන් ගන්න සිදු වුනා …

… මේ කෝපි ගස් සහ ගෙඩි වල පින්තුර නකල්ස් මායිමේදී ගත්තා. ඔය අනෙක් පින්තුර, අපි තේ බොනවා වගේ කෝපි බොන ඉතියෝපියාවේ, මගේ ඉතියෝපියානු හිතවතෙක්ගේ ගෙදරකදී කෝපි බොන විට ගත් පින්තුරයක්. ඉතියෝපියාවේ කෝපි බොන එකත්, ඒ අයට ජපානයේ මෙන් වැදගත් දෙයක්. එතනදී, බිරිඳ විසින් ස්වාමි පුරුෂයා ගේ අත සේදීම කරනු ලබනවා …

… මගේ හිතවතා වන ‘අබ්‍රහා ගිර්මේ’ කියන ආකාරයට, එයින් මුර්තිමත් වන්නේ ගෘහ ජීවිතයේ සාමය ආදරය සහ සෙනෙහසයි. කුඩා කෝපි කඩ ඉතියෝපියාවේ හැම තැනම තියෙනවා. වැඩ කරන මිනිසුන්ගේ උදේ කෑම වේල ඒ කඩවලින් ලැබෙනවා. ‘ටැන්ඩම්’ කියන ශාඛයේ කුඩා ඉත්තක් දැමූ කෝපි කෝප්පය සමඟ, අලි ගැට පේර ගෙඩි, ලුණු මිරිසක් සමඟ එකට කෑම මෙහි සම්ප්‍රදායික උදේ ආහාරයක් වෙනවා. මේ ලුණු මිරිස් වලට දාලා ඇති මිරිස් වර්ගය නම්, යක්ෂයා ගේ කටෙන් එන ඒව වෙන්න ඕන. ඒ තරම් සැරයි… 😦 කුඩා පවුලක් දිවි ගැටගහන්න ආරම්භ කල කෝපි කඩයක පින්තූරයක් ඔය තියෙන්නේ. ගැහැණු කෙනා කෝපි කොටලා ඒ කඩයට අවශ්‍ය කෝපි කුඩු සකස් කරනවා …

… 1857 දී ලංකාවෙන් එංගලන්තයට කෝපි කිලෝ ග්‍රෑම් මිලියන 36ක් යවා තියෙනවා. එයට හිලව් වන්නට එක ශතයක් විනාශ මුඛයට ගිය ලංකාවේ කැලෑවල් වවන්න නම් පාවිච්චි කරලා නැහැ. ස්වභාව ධර්මයෙන් අනුන රටක් විනාශයට යවා, සුද්දන් පොහොසත් වුනේ ඔය ආකාරයෙන් …

… Hemileia vastatrix කියන වසංගතය එන්නේ ඔය කාලෙන් පස්සේ. ඒ වචනය ලොප් වෙලා ‘එමිලි’ කියලා කියවෙනවා. කහ පාට පුල්ලි, කොලවලට ඒමයි මේ වසංගතයෙන් වුනේ. ඉතින් ක්‍රම ක්‍රමයෙන් ගස මළානිකවී එයින් ලැබෙන කෝපි ඇට අස්වැන්න අඩු වෙලා අන්තිමේදී ගස මැරී යනවා. කෝපි ගස මැරී ගිය පසු, එහි මුලේ ඇති ශක්තියක් නැති නිසා කලින් කලට එන වර්ෂාව නිසා,සෝදා පාලුවෙන් තව දුරටත් කඳුකරය සේදී ගියා. කෝපි වසංගතය හැදෙන විට, කෝපි වැවිලිකරුවන් 1700 ක් සිටියා. ජේම්ස් ටේලර් මුලික වී ආරම්භ කල අළුත් වැවිල්ලක්වූ, පහුගිය ශත වර්ෂයේ වවන්නට පටන් ගත් තේ සඳහා වූ අභියෝගය බාර ගන්නට එයින් 400 යයි ලංකාවේ ඉතිරි වුනේ. නෙක් අය නැවත ගම රට බලා ගියේ හිඟන්නන් ලෙසයි . ඉතිහාසගතව, ‘නිල්වලා’ , ‘කළු’ යන නමෙන් ගංගාවල් හැඳින්වෙන්නේ එහි ඇති පැහැය නිසා. එනම් එහි ගලා ගිය වතුරේ පස සේදීයමක් තිබුනේ නැහැ. එදා මහා වනය කපා දාපු දිනයේ සිට අද වන තුරුම මේ ගංගාවල් වලින් ඒ සෝදා පාලු වූ පස හේදී හේදී මුහුදට ගෙන යනු ලබනවා. ඒ ගංගා එකක්වත් එහි පෙර පවතී තත්වයට පැමිණියේ නැහැ. ඔබ ඒ ගංගාවක් දකින විටදී එහි ඇති ගුරු පැහැයෙන් එය ඔබටම දකින්නට හැකි වේවි …

… දැන් අපි විසින් කල යුත්තේ කුමක්දැයි නොකියා, මේ ලිපියේ නිවැරදි අවසානයකට එන්න බැහැ. සුද්දා විනාශ කර දැමු ලංකාව නම් පාරාදීසයේ හෙක්ටෙයාර් 31,800 ක් නැවත ප්‍රායෝගිකව කැලෑව වවන්න බැරි වුනත්, අඩුම තරමේ දිය පහරවල් ගලා බසින කඳු උඩ ජලාශ්‍රිත ස්ථාන සහ, ඒ ප්‍රදේශ වල දේශීය ශාඛ වවන්නට පෙළ ගැසෙමු …

… ලංකාවට කලින් කල එන නියඟය වළක්වන්නට හැකි එකම ක්‍රමය එය පමණි …

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: