කනමැදිරි බිය
තොවිල් පලේ දොළ උයන්න – උලව් ගෙදර නිදි මරන්න එහෙම තැනට සොයන්න බැරි
හරි මිනිහෙකි බංජා…
දවසක්දා කැළණි ගොහින් – හොඳ හැටි පෙරහරත් බලා මැස්සක් උඩ නිදා ඉඳල
ගමට එන්න හැරුණා…
වටින් ගොඩින් එළිවෙන විට – බඩගිනි පදමට එන කොට කුමක් කෙරෙම්දැයි සිතමින්
හෙමිහිට පා නැගුවා…
තනපට බැඳ ගෑණු කෙනෙක් – ආප්ප පිසිනවා දැකල පොඩි පොල් අතු කෝපි කඩේ
කට රිංගා ගත්තා…
අතේ කාසි නැති හින්දා – වතුර ටිකක් බීල යන්න දෙනවද? අම්මේ කියමින්
සිනා කටක් අන්දා…
ආප්ප මේසෙටත් කෙසෙල් – කැනටත් මැද තැනක් බලා පකිස් පෙට්ටියක් ඇදගෙන
හොඳ හැටි ඉඳ ගත්තා…
ටිකක් වෙලා ගතවෙන කොට – මේසේ තිබුණු ආප්ප ගෙඩි බංජගෙ මහා සාක්කුවට
එන්න පටන් ගත්තා…
වතුර බොන්න ආ මිනිහා – කතා මගට බැස්ස නිසා එතන හිටිය පොඩි හාමිට
හොඳටම සැක හිතුනා…
විසිතුරු පෙරහරේ තිබුණු – රස කර කර කියන අතර බංජගෙ අත කෙහෙල් කැනට
එන බව ඈ දැක්කා…
ඇඹුල් කෙසෙල් කැනේ ඇවරි – දෙකක් විතර අඩු වෙන කල් කරපු වැඩේ වැරදුණු තැන
බංජට බය හිතුනා…
ආප්ප හොරකම් කරන්න – ආවට පාඩමට ගන්න මහ ලොකු ගිනි පෙනෙල්ලකින්
හතක අටක් දුන්නා…
ඉස් මුදුනෙන් තරු පනින්න – මෙලෙසට බැට කෑ බංජා එදා පටන් කණාමැදිරි
එළියට බිය වෙනවා…
කනුමිස ජීවත් වන්නට – කන්නට ජීවත් වන්නෝ මිනිස් කමේ මිහිරි බවක්
නොදැකම මිය යන්නෝ…
පසු වදන 1 :- … මේ කවිය ඇති ‘කතා කවිත්ත’ නම් කවි පොතේ එක් පින්තූරයක, ‘මහගම සේකර’ යයි ලියා තිබුනා මතකයි. මේ එක් ආරකට යන පින්තූර, එක් පුද්ගලයෙක් ඇඳි පින්තූර බව ඔබට පෙනේවි. මේ කවි පොත අඩුම ගානේ අවුරුදු 50 ක් වත් පරණයි. පොතේ කවරය නැහැ. කව්රු මේවා ලිව්වද දන්නේ නැහැ. සමහරවිට මෙය මහගම සේකර මහතාගේ තරුණ කාලයේ කෘතියක් වෙන්න පුළුවන්. හැකි විදියට ඒ නිර්මාණ කොපි කර පල කරන්නම්…
පසු වදන 2 :- “ගිණි පෙනෙල්ලෙන් බැට කෑ එකා – කනමැදිරි එළියට බය වෙනවා” කියන උපහැරණයට හේතුව මේ කවියේ හොඳින් කියවෙනවා. ඒ වාගේම එදා ගම් වල කෝපි කඩේ මේ පින්තූරවලින් සිත්තරා (මහගම සේකර?) මහතා අපූරුවට හැඳ තියෙනවා. ආප්ප ඇති කුඩා ලෑලි කබඩ් එක, ඒක උඩ ඇති පැණි බෝතල්, සහ රෙද්ද හැට්ට හැඳි ගැමි යුවතිය, බංජා ඇඳ ඇති පට සරම සහ සරුවාළය අපූරුවට ඇඳ , ඒ කාලයට අපව එක් කරගෙන යනවා …
Leave a Reply