ඔරු පාරු, ගංගා , වර්ෂාව හා සම්බන්ද අපේ පැරණි කවි සහ ගීත කීපයක්
… වැසි සහිත කඳු ප්‍රදේශ අතීතයේ ඝන වනයෙන් වැසී තිබිණ. එහෙයින්, මහා වර්ෂාවක් පොළවට පතිත වුවද, කුඩා ඇළ දොළ හරහා වැටී තිබුණු ගස් මුල් යනාදිය පසු කරගෙන මහ ගංගා වලට එන්නට, අතීතයේ දින කීපයක් ගත විය. මේ නිසා, අද මෙන් ඉක්මනින් ඇතිවන ගංවතුර උවදුරක් එදා නැති විය. ඒ ගංගා කඳු බෑවුම් ඉතා උනන්දුවෙන් ප්‍රතිසංස්කරණය කල අයට ‘ගමගේ’ ‘ගමආරච්චි’ ‘ගමාරච්චි,’ ‘ගංන්කන්ද,’ ‘දොළකන්ද’, ‘වතුරේගම’, වැනි නම්බු නාම ලැබුනහ. ඒ තරමට ඔවුන් ගමට මෙන්ම, ජළයටද සම්බන්ද විය …
… සමහර ගංගා වලට දී තිබුණු නාමයන් මගින්ම, එම ගංගා වල වතුරේ පැහැය දැක් විණි. උදාහරණයක් ලෙස, සෝදා පාළුවක් නොමැති එකල, මාතරින් මුහුදට වැටෙන නිල්වලා ගංගාවේ ජළය නිල් පැහැ විය. කළු පැහැයට පතල පෙනෙන ගඟ කළු ගඟ විය. පස අනවරතයෙන් සේදීමෙන් වන ගුරු පැහැය හැර, අද ඒ නිල් පැහැය ඔබ දකින්නේද ?…? … ඔබට, හේතුව පැහැදිළි වූවායයි සිතමි. … ඔව්, ඒ සෝදා පාළුවයි. ඒ දියවී මුහුදට යන්නේ අපේ රටයි … මා බොහෝ කුඩා කල මට හමුවූ විදේශීය ජාතිකයෙක් කිව්වේ, “ඔබේ රට මුහුටද දියවෙමින් පවතී’ යන්නය. එය සත්‍යයක් බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත. ඒ ගැන වෙනම කතා කල යුතු දෙයකි …
… ඒ අතීතයේ ගඟ සහ මිනිසා අතර සමීප සම්බන්දයක් තිබිණ. ගඟට ජීවයක් ඇත යයි සිතු කාලයක් විය. ගඟට වැටෙන කුඩාම දියත්තේ සිට දොළවල් වල පවා, පස් සේදී යෑමට අපේ මුතුන් මිත්තෝ ඉඩක් නොතැබූහ. අද මෙන් නොව, ගංගාව මිනිසුන්ගේ දිවි පෙවෙත් රැක ගැන්මටද සම්බන්ද වී, ගංගා ඇළ දොළ ආශ්‍රිතව ජනාවාස සහ වෙළඳාම් පොළවල් වැඩි වැඩියෙන් ඇති විය…
…ගංගාව, ජළය විනෝදයටද බෙහෙවින් සම්බන්ද විය. තරුණයෙක්, ගඟක් අසල රෙදි සෝදන තරුණ කතකට කියූ කවියක් මෙසේ වේ …
කහට පොතු කපා ගිනි මොලවා දෙ ඤඤා
පොල්පිති පුළුස්සා අළු අරගෙන දෙ ඤඤා
අපුල්ලන තොටේ බොට තනිවට මම ඉ ඤඤා
දීග නොයන් රෙදි නැන්දේ වඳි ඤඤා
…එදා කුලයෙන් හීන යයි සම්මත රෙදි නැන්දා ගේ රූපශ්‍රීයට, ඒ කුලය බාධාවක් නොවුනා වගේ පෙනේ.
… ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ //
පෙත්තරේ ලඟ පැන් තොටේ-ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු-චන්ද්‍රයා සේ පායලා…
… සුනිල් එදිරිසිංහ ඝාන්ධර්වයා මේ වයන්නේ, පැන් තොටේ ජලයෙන් රෙදි හෝදන ලෙන්චිනා ගේ කතාවයි…
… පානදුරයේ තොටුපළ එදා බොහෝ ප්‍රසිද්ධ තැනකි. එහි සිටි සුන්දර ළඳක් ගැන කියූ කවක් මෙසේ වේ …
වගේ අස මිතුර – මකියන දී සවන
ඇඟේ මල් දමසෙ – පෙති ගෝමර දිළෙන
ගඟේ යන පානදුර – යේ තොටු පලින මගේ නම් මෙළඳ – ඇවිදිමි වඩා ගෙන
… කඹුරුපිටිය ප්‍රදේශයේ ‘කද්දුව’ යන ඉතා සුන්දර ගම්මානයේ, අම්බලම ළඟ ගලන ගඟේ නාමින් සිටි යුවතියන්, පාරු පැදවූ නාවිකයන්ට පෑ ඉඟි බිඟි ගැන කියැවුණු කවියක් මෙසේය …
කද්දුව එගොඩ උළු අම්බලම ගාවා
ගැහැණු තුන් දෙනෙක් ඉස නාව නාවා
අප දැකලා උන් කරවන නුරාවා
කොහොමද ලියෝ සිත නළවන උපාවා
… 1957 මහ ගංවතුර ඇතිවූ කාලයේ, ඒ ගංවතුර නැති වීමට බත්තරමුල්ලේ ශ්‍රී සුභූති නාහිමිපාණන් විසින් ලියන ලද සෙත් කවියක් මෙසේ වේ…
නිස්ස සක කුමර කඳ වෙණු බබ රදූන
තොස්ස බැති ඇතොත් ලක බුදු සසුන ගැන
වැස්ස වළාහක දෙවිඳුට අණ දෙමින
වැස්ස නවත්වා දෙනු වෙසඟ පෝදින
… ඉහත කව, ‘සෙත් කවි’ මූලධර්ම ඇසුරු කර, සක්‍ර දේවේන්ද්‍රයා, කඳ සුරිඳු සහ මහා බ්‍රහ්මයාට එල්ල කර ගණ පිහිටවන ලද කවියකි. ලංකාවේ බුදු සසුණ ගැන භක්තියක් ඇත්නම්, වෙසක් පොහො දිනට පෙර, වර්ෂාව නවත්වන්නට වැස්ස වළාහක දෙවියන්ට අණ කරන මෙන්, එම දෙවියන් සහ බ්‍රහ්මයා ගෙන් ඉල්ලා සිටී. මේ සෙත් කවිය කියා තුන් දිනකින් වර්ෂාව නැති වූ බව කියවේ …
… මහගම සේකර ශුරීන් මේ පැරණි කාව්‍යයන් හොඳින් අධ්‍යනය කල කෙනෙක් යයි කියයි. ඒ අනුව ඔහුටද එදා සුන්දර ගම්මානයේ සහ එම කවි වල චමත්කාරයෙන් පිබිදුණු සිතෙන්, ගීත වලට අවශ්‍ය පද මාලා නිතැනින්ම ඔහුගේ පෑනෙන් ලිය වෙන්නට ඇත … … එතුමා ගේ පබැඳුමක්, අප ජාතියේ පිනට පහළ වූ ගායකයා හා සංගීතඥයාද වන, ‘අමර දේව’ ශ්‍රීමතාණන් විසින් ගැයූවේ මෙසේය. එහිද වැස්ස ගැන කියවේ …
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව උඩ පැන නැටුවා …
වැස්ස වසින්නට ඉස්සර අහසේ
වළාකුලින් විදුළිය කෙටුවා …
… පසු කල 60 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුළි සංස්ථාවේ ළමා මණ්ඩපයේද වර්ෂාව ගැන ලියූ ළමා ගීයක් වාදනය විය. එය ගයන්නේ කව්දැයි නොදනිමි. එහෙත් එහෙන් මෙහෙන් මතක පද කීපයක් මෙසේය…
“බුබුළු බුබුළු ජලේ නැගෙන – පබලු පබලු ලෙසින් දිළෙන //
මාළයකට ගෙල ලාගෙන – ආසයි මට පළඳින්නට …
… වැස්ස ඇතිවන යෝගයක් සහ, වැස්ස නැති වන යෝගයක් සඳහන් පැරණි කවියක් මෙසේ වේ …
පෙර පසුවත් එක රැස හෝ සිටියෝතින් සිකුරු බුදේ
අරගල යුත් මහ මේඝය නගා වසියි එ සඳේ
ඉරුට දෙපිට මොහු දෙදිනම යෙදුනෝතින් නි බඳේ
පරතෙර නැති මහ සයුරත් නොතිර සිඳෙයි එසඳේ
… සිකුරුත් බුදහුත් එක් රාශියක හෝ සමීප රාශි වල සිටියහොත් මහා වර්ෂා ඇතිවන බවත්, ඉරුට දෙපස සිකුරුත් බුදත් සිටියොත් නියඟ ඇතිවන බවත් මේ කවියේ අදහස වේ.
… [පසු සටහන :- …ග්‍රහයන් සිටින නැකත අනුව මෙය වෙනස් වේ. වියළි ග්‍රහයන් ගේ නැකත් වලදී මේ තත්වය වෙනස් වේ. ලංකාවට මෑතදී ඇති වූ මහා ගංවතුර ඇති වූ අවස්ථාවේ (2016 මැයි 14 ), සිකුරු සහ බුද ග්‍රහයන් එකම අංශකයේ ගමන් කලේය. නැකත වූයේ ජළ කාරක ග්‍රහයෙක් වූ සිකුරුගේම ‘බෙරණ’ නැකතේය. අදද එය වී ඇත්තේ ‘සා’ නැකතේය. ‘සා’ නැකත වියළි ග්‍රහයෙක් වූ රාහු ග්‍රහයාට අයිතිය. මේ වෙලාවේ ලංකාවේ නැති නිසා, පවතින දේශගුණය නොදනිමි. එහෙත් ඉහත කවිය අනුව, වියළි කාලගුණයක් තිබිය යුතු වේ…] …
… කැමති නම් මේ ගැන පර්යේෂණ කිරීම ඔබට බාරය …
…’මුනිදාස කුමාරතුංග’ මහ ගත් කරුවා ඔරුවේ ජීවිතය ගැන ලියා ඇති කවියක් මෙසේය…
ගඟද සුළඟ සමගිනී
කතා නොකර පෙර මිනී
හබල් පහර ඔරුවෙනී
නිසොල්මන්ව විඳ ගනී
… ඔහුගේ නිවහන තිබුනේ, පානදුරේ ‘පල්ලිමුල්ල’ යන පළාතේය. එය ගඟට යාබදව තිබිණ…
Leave a Reply