වාහන විත්ති 315 – වාහන මිනිසුන් සේ හැසිරීම සඳහා අවශ්‍ය සංවේදක සහ ලයිඩාර් [ලිඩාර්] යනු කුමක්ද ?

මින් පෙර ස්වයං වාහන ගැන ලියූ ලිපියක ඉලෙක්ට්‍රොනික සහ පරිඝනක ක්ෂේත්‍රයට සාපේක්ෂව මෝටර් වාහන ක්ෂේත්‍රයේ දියුණුවේ වූ ඉබි ගමන ගැන සාකච්චා කළෙමු. කෙනෙක් කලකට පෙර ඉගෙනගත් ඉලෙක්ට්‍රොනික දැනුමෙන් අද දින ප්‍රයෝජනයක් නැත. ඒ ඉහත කී මෝටර් රථ ක්ෂේත්‍රයේ ඉබි ගමන වෙනස් වෙමින් පවතී. වේගයෙන් මෝටර් වාහන ක්ෂේත්‍රය දියුණු වේ. මෙය ලංකාවේ සිටින කෙනෙක්ට වඩා දියුණු රටක සිටින කෙනෙක්ට පෙනෙනවා ඇත.

මෝටර් වාහන ක්ෂේත්‍රයට ඇළුම් කරන්නේ නම්, එය වෘත්තියක් සේ කරනේ නම්, අළුත් දේවල් ගැන ඉගෙන ගත යුතු වේ. නැතිනම් ඒ අයට වන්නේද පරණ ඉලෙක්ට්‍රොනික දේ ගැන උනන්දුවක් දැක්වූ ඉන්ජිනේරුවෙක්ට කාර්මිකයෙක්ට වූ දෙයමය.

දෙවන හේතුව වන්නේ, ‘ලයිඩාර්’ යන්න ගැන අන්තර් ජාලයේ ඇති විස්තර තරමක් පැටළිලි සහගත වීමය. එයට හේතු කීපයක් ඇත. එකක් නම්, ඉතා වේගයෙන් දියුණු වන ක්ෂේත්‍රයක් වීම මෙන්ම, ඒ දියුණුවට සම්බන්ද වී ඇති නිර්මාණ ඉංජිනේරුවන් දරන විවිධ මත මෙයට හේතු විය හැක.තවද මේ උපකරණය කෙළින්ම අත පත ගා පළපුරුද්දක්ද මට තවම නැත. කිසියම් දෙයක් විස්තර කරන්නේ නම්, ඒ ගැන ප්‍රායෝගික මෙන්ම අධ්‍යාපනික අවබෝධයක් තිබිය යුතුය.

මේ හෙයින්ම මෙම විෂය ගැන හරියට නොදන්නා හෙයින්ම, ඒ ගැන ලිවීමට පැකිලෙමින් සිටින අවස්ථාවක, ලයිඩාර් ගැන හොඳින් දන්නා කෙනෙක් හමු විය.

ඒ, ‘දර්ශන සංජීවන් අධිකාරි’ මහතායි. ඔහුව ලිපියේ ටැග් කර ඇත. ඔහු ඒ ලයිඩාර් සම්බන්ද ආයතනයක සේවය කරයි. මා මේ ලිපිය මගින් දළ අදහසක් දෙන්නට උත්සාහ කලද, එතුමා අවශ්‍ය නම් ඔබට පිළිතුරු සහ වැඩි විස්තර සපයනවා යයි සිතමි.   

මින් පෙර ලිපියක සඳහන් කලාක් මෙන් LIDAR යනු Light Detection and Ranging යන්නයි. මේ සඳහා ඇති එක්තරා අවශ්‍යතාවයක් නම්, the Time of Flight (ToF) යන්න වේ. මෙහි තේරුම; කිසියම් මාධ්‍යයක් හරහා ලේසර් කදම්බය යාමට ගතවන කාල නිර්ණය වේ. වාහන ක්‍ෂේත්‍රය සම්බන්ද මේ ToF හිදී ලේසර් කිරණයේ තරංග ආයාමය නැනෝ තත්පර 3 සිට 20 දක්වා වේ. තරංග ආයාමය කෙටි වත්ම එයින් ලැබෙන නිරවද්‍යතාවයද වැඩි වේ.  

ලයිඩාර් සෙන්සරයකින් මීටර් 300ක පරාසයක පමණ ඇති වස්තූන් නිර්ණය කල හැක.  ලේසර් තරංගයක් ඉදිරියේ ඇති වස්තුවක් වෙත ප්‍රක්ෂේපනය කල විට, එය එම වස්තුවේ හැපී නැවත ලිඩාර් උපකරණයේ ඇති සෙන්සරයක් වෙත පරාවර්ථනය වේ. එවිට රේඩාර් හී වනවාක් මෙන් ඒ යන කාලය ඇසුරේ එම වස්තුවට ඇති දුර ගණනය කල හැකි වේ.  

මේ ආකාරයෙන් තනා ගන්නා ඉලෙක්ට්‍රොනික ජාළය මගින් එම වස්තුවේ හැඩය ද්විමානව හෝ ත්‍රිමාණව නිර්ණය කිරීමට හැකිවනු ඇත.

කෙසේ හෝ රේඩාර් යනු ලයිඩාර් ක්‍රමය බව එක තැනක ඇති අතර, රේඩාර් වලට වඩා ලේසර් කිරණ භාවිතා කරන ලයිඩාර් ක්‍රමයේ වෙනසක් ඇති බව, තවත් සමහර තැනක සඳහන් වී ඇත. රේඩාර් කිරණයක තරංග ආයාමයට වඩා ලේසර් කිරණයේ තරංග ආයාමය කුඩා නිසා, පරාවර්ථනයේදී මේ ලයිඩාර් ක්‍රමයේ තරංග ආයාමයේ වන වෙනස් කම ඉතා කුඩා බවද එය නිර්ණය කිරීමේ අපහසුවද මේ පසුව විස්තර කල ක්‍රමයේ කියා ඇත.

මේ ගැන වඩා විශ්වාසයැති පිළිතුරු අධිකාරි මහතාගෙන් හෝ වෙනත් දැනුවත් කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙමි. ඒ ප්‍රශ්ණය එහෙමම තබා, දැනට වෙන දෙයක් වෙත සිත යොමු කරමු.  

ලේසර් කිරණය බාහිර වස්තුවකට ප්‍රක්ෂේපණය කිරීමෙන් පසු පරාවර්ථනය වී නැවත පැමිණෙන ලේසර් කිරණය පතිත වන්නේ තවත් ‘සංවේදකය’ ක් හෙවත් සෙන්සරයකට වේ. සාමාන්‍යයෙන් කිසයම් සංවේදකයකට වැටෙන විදුළි සඥාවක් එම සංවේදකයට ලම්භකව පතිත වුනේ නැතිනම්, ඒ සංවේදකයෙන් වැරදි තොරතුරු පරිඝනකයට ලැබිය හැක. එහෙත් ලේසර් කිරණය හඳුනාගන්නා සංවේදකය එසේ නැත. එය ඇලෙට පතිත වන ලේසර් කිරණයක් හඳුනා ගැනීමට පවා සමත් වේ.  [high angular resolution and a wide field of view.]

මෙන්න මේ හැකියාව විශිෂ්ටය. ඒ නිසා මධ්‍යම දුරැති වස්තුවක් නිර්ණය කිරීමට මේ ක්‍රමය ඉතා සාර්ථකව භාවිතා කල හැක. එනම් එසේ ලැබෙන පරාවර්ථක ලේසර් කදම්බය සුදුසු මෘදුකාංගයක් භාවිතා කර වාහනය අවට පරිසරය පරිඝනකයේ නිර්මාණය කල හැක්කේය. මෙසේ නිර්මාණ කරන පරිසර පින්තුරය ස්ථිතික හෙවත් නොසෙල්වෙන දෙයක් නොවෙන බව පැහැදිළිය. එනම් එය යතාර්ථවාදී ලෝකයේ වාහන, මිනිසුන් යන පාරේ ජ්‍යාමිතික පින්තුරයකි.

තවත් පැහැදිළි කළහොත් එය චලනය වන හා නොවන විවිධ වස්තූන්ගේ ප්‍රවේගය, වේගය, චලනය වන දිශාව, කෝණාකාර චලිතයක් නම් ඒ චලිතයේ ස්වභාවය යන සියළු පරාමිතික පෙන්වන ජ්‍යාමිතික රූපයක් වේ. ලේසර් කිරණය අවට ඇති ආලෝකයෙන් පරායත්ත හෙයින් දහවල් මෙන්ම අඳුරේද මේ දුර සහ වේගයන්ගේ කියැවීම් නිවැරදි වේ.

කෙසේ නමුත් මුල් කල තැනූ ලිඩාර් හිම සහ මීදුම නිසා නිවැරදි කියැවීම් නොදුන් බව සමහර අන්තර් ජාළ පිටුවල ලියැවී ඇත. එසේම ඔබට මතක නම්, අවුරුද්දකට පමණ පෙර ටෙස්ලා එස් වාහනයක් ස්වයං ධාවනය වන අවස්ථාවක ඉදිරියෙන් පැමිණි ට්‍රැක්ටරයක ගැටී, ටෙස්ලා රථයේ සිටි පුද්ගලයා මිය ගිය බව ආරංචි විය.

එහෙත් මේ ටෙස්ලා රථයේ ස්වයං ධාවනය සඳහා මූලික වශයෙන් ආධාර වූයේ ලයිඩාර් ක්‍රමය නොව රේඩාර් ක්‍රමය යන්න සමහර වාහන විචාරකයන් ටෙස්ලා සමාගමට දෝෂාරෝපණය කරති.

එහිදී ට්‍රැක්ටරයේ පැහැය සහ, ඉන් ඔබ්බේ පෙනුණු අහසේ පැහැය එක පැහැයක් සේ වාහනයේ පරිඝනකය දුටු බවද සඳහන් විය. සාමාන්‍යයෙන් කියන්නේ, ලයිඩාර් ක්‍රමය කෙටි දුර ඇති වස්තුන් නිර්ණය සඳහා ද, රේඩාර් ක්‍රමය දුර ඇති වස්තූන් නිර්ණය කිරීමටද භාවිතා වන බවය.

ලයිඩාර් හෝ ‘ලිඩාර්’[Lidar] හෙවත් රේඩාර් යන්ත්‍ර වලට සමාන දිශාව සොයාගන්නා යන්ත්‍ර පහක්, රේඩාර් සංවේදක 21ක්, වීඩියෝ කැමරා 16ක් මගින් පාලනය වන ජෙනරල් මෝටර්ස් වලින් නිර්මාණය කල රථයේ විස්තර මුල් ලිපියක සටහන් විය. එනම් මේ ස්වයං ධාවනය සඳහා තුන් ක්‍රමයකින් දත්ත ගන්නා බව පැහැදිළිය.

මුල් කාලයේ මේ ලිඩාර් යන්ත්‍රයක මිල යූරෝ 75,000 ක් පමණ මිලැති දෙයක් වුවද, විශ්වාසය තැබිය හැකි යන්ත්‍රයක් අද දින ඊට වඩා මිළ බොහෝ අඩුය.

අනාගතයේ මේ ආකාරයේ ලිඩාර් සවිකර ඇති වාහනයක් නඩත්තුවකට රැගෙන ආ විට එය රේඩියෝ රූපවාහිණී සහ පරිඝනක කඩයකට ගෙන යාම, වඩා සුදුසු යයි ඔබට පෙනෙණු ඇත. එය එසේ නම් ඒ තාක්ෂනය ඉගෙන ගැනීම වටී. මේ පහත පළවන කොමෙන්ටුවේ ඇති අන්තර් ජාළ පිටුවේ මේ ගැන තවත් විස්තර ඇත. එහි ඇති ibeo.HAD යන කොටසේ වීඩියෝව බැලූ විට පරිඝනකයට වාහනයක් චලනය වන ආකාරය ඔබ දකිනු ඇත.    

පින්තුරයේ ඇත්තේ පරිඝනකයට පරිසරය පෙනෙන ආකාරය වේ.

එහි ඒ වාහනය සෙමෙන් චලනය වන්නේ නැති බව ඔබ තේරුම් ගන්නවා ඇත. ලෝකයේ මේ නිවැරදි ඉලක්කයක් සොයා ගැනීමේ තාක්‍ෂණය පවතී. හොඳම උදාහරණය වන්නේ ඇමරිකාවේ සිට ඇෆ්ගනිස්ථානයට යවන ඩ්‍රෝනයක් මගින් යොමු කරන මිසයිලයකින් අවශ්‍ය ඉලක්කය නොවරදවා ගැනීම ය.

කෙනෙක්  මෙහිදී අසන ප්‍රශ්ණය දනිමි. එය එසේ නම්, අදත් ගුවන් යානා දුරස්ථ පාලක වලින් ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්නය. මෙන්න මෙතැනදී මිනිසුන් ඒ ගැන දරණ ආකල්පය ගැන ගුවන් යානා සමාගම් සිතන බව පෙනේ. මගියා ගේ මනස නොසන්සුන් කිරීමට ගුවන් යානා සමාගම් කැමති නැත. එක අනතුරක් හෝ සිදුවුවහොත්, එය එම සමාගමේ අනාගතයේ අවසානය වනු ඇත.

නමුත් අවසානය ස්වයංක්‍රීය පාලනයෙන් යුතු ගුවන් ගමන් වීම යතාර්ථයක් වන දිනය ඈතක නොවේ.

කරුණාකර මේ ලිපියේ ඇති කරුණු 100% ක් සත්‍ය බව නොසලකන්න. මක්නිසාද යත් මේ පරාමිතික දිනෙන් දින වෙනස් වන බැවිණි. ඒ ගැන වැඩිදුර කියැවීම, ප්‍රශ්ණ කිරීමට උනන්දු කිරීම සහ ‘අපි සොයමු’ යන්න පමණක් මේ ලිපියෙන් අවධාරණය කෙරේ.    

 

https://www.ibeo-as.com/had/ilv/

 

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: