වාහන විත්ති 256 – ටයිමින් බෙල්ට් එකේ සහ චේන් එකේ වගතුග.

මේවා වාහනයකට මොනවාටද කියා අමුතුවෙන් කියන්න ඕනා නැති වුනත්, ළිපිය ලියන්නේ, කිසිම දෙයක් නොදන්නා අයට නිසා, පොඩි විස්තරයක් කියන්නම්. එන්ජිමක් ඇතුලට එන පෙට්‍රල් සහ වාතය මිශ්‍රණය පත්තු කරන්න, ඒ මිශ්‍රණයට හෝ මිශ්‍රණය සමඟ වාතය එන තැනකුත්, දහනයට පසු යන තැනකුත් තියෙන්න අවශ්‍ය වෙනවා.

ඉතින් ඒ මිශ්‍රණය එන තැන සිදුර අරින වහන එකටත්, දහනයට පසු දුම් ටික එළියට යන්නත් ඇති සිදුරු ක්‍රමානුකුලව අරින වහන ‘හතු’ වැනි උපකරණ හෙවත් කපාට හෙවත් වෑල්ව් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. (මින් පෙර ඇති ළිපියක කපාට හෙවත් වෑල්ව් ගැන විස්තර ඇති.) ඉතින් ඒ වෑල්ව් හරි ආකාරයට වහන්නට, එනම් එන්ජිමේ අවශ්‍යතාවයට අනුව අරින්න- වහන්න යම්කිසි ක්‍රමයක් ඕනා වෙනවා.

එය කරන්නේ කෑම් ශාෆ්ට් එක මගින්. එහි පින්තුරයක් තියෙනවා. එය බැලුවාම ඔබට හොඳින් එහි ක්‍රියාකාරිත්වය තේරේවි. ඒ කෑම් ශාෆ්ට් එක,  වෑල්ව්, එන්ජිමේ පිෂ්ටනය සහ අනෙක් කොටස් කිසියම් කාලය හා සාපේක්ෂව නියමයක් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනා. ඒ අතරේ විදුළි පුලිඟු (Plugs) හරියටම අවශ්‍ය තැනදී පත්තු වෙන්නත් ඕනා. අන්න ඒ ක්‍රියාවළියේ ඔය කියන වෑල්ව් අරින වහන ක්‍රමයට උපයෝගී වන දෙයක් තමා, ටයිමින් චේන් සහ ටයිමින් බෙල්ට් කියන්නේ.

මේවා වාහනේ බොනට් එක ඇරියාට පෙනෙන දේවල් නොවේ. වතුර, දුවිළි මඩ වගේ ඒවා නොයන්න ඒවා කේස් එකකින් වහලා තියෙන්නේ. මෙහි දමා ඇති පින්තුර වලින්, ඔබට මේ ගැන යම් අවබෝධයක් ගන්න හැකි වේය කියා හිතනවා.

ඉතින් ටයිමින් චේන් එකක් කියන්නේ, හරියට බයිසිකල් චේන් එකක් වගේ යකඩ දම්වැලක් වන අතරේ, ටයිමින් බෙල්ට් එකක් කියන්නේ, කට්ට තියෙන තද රබර් පටියක්. ඔය කියන චේන් එකට ලිහිස්සුම් තෙල් ඕනා වෙන අතරේ බෙල්ට් එකට එහෙම ලිහිස්සුම් තෙල් අවශ්‍ය නැහැ. අනෙක බෙල්ට් එක කලින් කලට මාරු කරන්න වෙනවා. එය වාහන නිෂ්පාදකයා කියන ආකාරයට කරන්න ඕනා. චේන් එකේ අවුලක් නැත්නම් එය සාමාන්‍යයෙන් මාරු කරන්න අවශ්‍ය නැහැ.

තෙල් නැතිවුනොත්, තෙල් අඩුවෙන් වාහනේ දිව්වොත්, නැත්නම් වැරදි තෙල් දාලා කාලයක් වාහනේ දිව්වොත් නම්, චේන් එකත් මාරු කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින්, වාහනේ දඟර කඳ හෙවත් ක්‍රෑන්ක් එකට සම්බන්ද කර ඇති දැති රෝදයක් හරහා යන චේන් එක හෝ බෙල්ට් එක කෑම් ශාෆ්ට් එක කරකවනවා. මේ සඳහා කෑම් ශාෆ්ට් එකට සම්බන්ද දැති රෝදයකුත් තියෙනවා.

ක්‍රෑන්ක් එක වට දෙකක් කරකැවෙන විට, කෑම් ශාෆ්ට් එක වටයක් කරකැවෙනවා. ඉතින් චේන් එක හෝ බෙල්ට් එක ඔය විදියට ගමන් කරන විට, ඒවා දෙපැත්තට වැනෙන්නේ නැති වෙන්නට ඒ සඳහා තවත් ඇටවුම් තියෙනවා.

ඒවාට චේන් ගයිඩ් (Chain guides) කියනවා. ඒ වාගේම චේන් එකේ ආතතිය තියා ගන්නට, තෙල් බලයෙන් ක්‍රියාත්මක වන පිශ්ටන් වගේ (Tensioners) හෝ සර්පිළ (Springs) වේවි. වාහන ලෝකෙට ආපු මුල්ම කාලේ, ටයිමින් බෙල්ට් කියා හෝ චේන් කියාවත් දෙයක් තිබුනේ නැහැ.  ඒ කාලේ වෑල්ව් ඔසවන්න භාවිතා කලේ යකඩ කූරු. ඒවාට ඉංග්‍රීසියෙන් කිව්වේ Push rods කියලා. ඒවායේ ක්‍රියාකාරිත්වයේ සරළ පින්තුරය දමා තියෙනවා එය බලන්න, එවිට තවත් මේ කියන දෙය තේරේවි.

දැන් මේ චේන් එක හෝ පටිය ගෙවුනාම, බුරුල් වුනාම මොනවා වේවිද කියා බලමු. මුලින්ම චේන් එක ගෙවුනම මොකද වෙන්නේ? වාහනේ එවිට රිටාර්ඩ් වෙනවා. ඒ මදිවට චේන් එක වැනෙන නිසා, එය වටේ කේස් එකේ වදින ශබ්ද එනවා. මේ වෙලාවට කරන්න තියෙන්නේ, ඒ ඒ වාහනේට අදාළ ‘ටයිමින් චේන් කිට්’ එක අරගෙන දාන එකයි. ටයිමින් චේන් කැඩෙන්නේ නම් බොහොම කලාතුරකින්.

එහෙත් කැඩුනොත් නම්, එන්ජිමට අබ සරණයි. හැබැයි, ටයිමින් චේන් එකක් කැඩෙන්න ඇති ඉඩට වඩා ටයිමින් බෙල්ට් එකක් කැඩෙන්න ඇති ඉඩ වැඩියි. ඉතින් ටයිමින් චේන් එක ඇති එන්ජිමේ කොටස ගලවලා පරීක්ෂා කර බලා අවශ්‍ය ගෙවී ඇති කොටස දාන එකෙන්, ගාණක් ඉතිරි කරගන්න පුළුවන්. එහෙත් මෙහෙම දෙයකුත් තියෙනවා. සමහර වාහන වල ටයිමින් චේන් එක දාන එක ලෙහෙසි නැහැ.

එහෙම වෙන්නේ, ඉතා කුඩා ඉඩක වැඩ කරන්න වෙන නිසායි. එවිට කෑලි ගලවන්න කරදර වෙන්න වෙනවා. උදාහරණයක් කිව්වොත්, මේ කාලේ ඇති ඉදිරි රෝද කරකැවෙන වාහනයක එන්ජිමක්, එම වාහනේ බඳේ හරහටයි ඇත්තේ. (A transversely-mounted engine) ඒ නිසා, ඔය කියන ඔක්කොම දාන්න ඕනා කෑලි, එක සැරේ දාන එක බොහෝ දෙනා කරන දෙයක්.

සමහර ලොකු වාහන වල ටයිමින් චේන් එකට අමතරව, ක්‍රෑන්ක් එකට සම්බන්ද තවත් චේන් තියෙනවා. උදාහරණයක් වශයෙන් ටොයෝටා කැම්රි, හොණ්ඩා ඇකොර්ඩ් වගේ වාහන වල ලිහිස්සුම් තෙල් පොම්පෙත්, මේ ටයිමින් චේන් එක ක්‍රෑන්ක් එකට සම්බන්ද කර ඇති දැති රෝදය වැනි තවත් දැති රෝදයකින් කරකවනවා. ඒ තෙල් පොම්පෙට ජව රෝදයක් සවි කර තියෙනවා. පොත් බලන්න අකමැති අය කරන වරදක් තමා, ටයිමින් චේන් එකේ ‘කාලය’ හෙවත් ටයිමින් විතරක් හදනවා.

ඒ කියන්නේ “ක්‍රෑන්ක් එකට සාපේක්ෂව කෑම් ශාෆ්ට් එක කරකවන නීතිය” හරියට සකසනවා. එහෙත් අර තෙල් පොම්පේ ක්‍රියාත්මක වන චේන් එකේ ටයිමින් හදන්නේ නැහැ.

වාහනේ දුවාවි. එහෙත් වාහනේ දෙදරුම් කනවා. මෙහෙම වෙන්නට හේතුවක් තියෙනවා. අභ්‍යන්තර දහන එන්ජිමක් විද්‍යුත් මෝටරයක් වගේ නොවේ. එය වටයක් කරකැවෙන විට, ඒ වටයේ තැනින් තැන ප්‍රතිරෝධය අඩු වැඩි වෙනවා. උදාහරණයක් ලෙස වෑල්ව් එකක් ඉස්සීමේ දී, ඒ බර ක්‍රෑන්ක් එකට දැනෙනවා.

මේ නිසාත් එන්ජිම සාමාන්‍ය ආකාරයට ක්‍රියාත්මක වන විට වාහනය දෙදරුම් කනවා. එහෙත් නොයෙක් පරීක්ෂණ කරමින්, ඒ දෙදරුම් අවමයක් කර ගන්න ඉංජිනේරුවන් වාහන ඩිසයින් කරනවා.

අර කිව් තෙල් පොම්පෙට සම්බන්ද කුඩා ජව රෝදයක් (Fly wheel) තියෙනවා. ඒ රෝදය හරි රවුම් රෝදයක් නොවන නිසා, එයිනුත් යම්කිසි දෙදරීමක් ඇති වෙනවා. එම රෝදයේ දෙදරීමත්, එන්ජිමේ ඇතිවන දෙදරීමත් එකට එකතුව, අවසාන දෙදරීම ශුන්‍යය කරන්න අවශ්‍ය නිසා තමා ඒ තෙල් පොම්පේ ටයිමින් තියන්න ඕනා. මේ ආකාරයේ තෙල් පොම්පයකින් හුදෙක් තෙල් පොම්ප කිරීම පමණක් නොවේ වෙන්නේ.

එමෙන්ම ලිහිස්සුම් තෙල්, හරි වෙලාවට දාන්න ඕනා. හරියට තෙල් නඩත්තුව කරන වාහනේක, කිලෝ මීටර මිලියනය පන්නලා චේන් එක පාවිච්චි කරලා තියෙනවා මා දැකලා තියෙනවා. දැන් ටයිමින් චේන් එකක මේ සද්දේ මුලින් එන නිසා, ඔබට එම චේන් එක මාරු කරන්න කල් තියෙනවා. අමිහිරි ශබ්දයක් ආවත්, කාලයක් යන තුරු චේන් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙත් ටයිමින් බෙල්ට් එහෙම නැහැ.

වාහන නිෂ්පාදකයා කියන කාල පරතරයන්ගේ ආකාරයට ටයිමින් බෙල්ට් එක මාරු කරන එක ඇඟට ගුණයි. බැරිවෙලාවත් වාහනේ ස්ටාර්ට් කර ඇති වෙලාවක ටයිමින් බෙල්ට් කැඩුනොත් විනාසයක් වෙන්න පුලුවන්. ඒ කියන්නේ හරි නීතියකට නැතිව වෑල්ව් ඉස්සිලා පිශ්ටන් එකේ  වදින්න පුළුවන් නිසා. හැබැයි එහෙම වෙන්නේ නැති එන්ජින් තියෙනවා. ඒවාට Non-interference engines කියා. එතනදී පිෂ්ටනය හෙඩ් එකේ ගෑවෙන තැන (TDC) අවස්ථාවේ වුවත් වෑල්ව් එක ඇරිලා තිබුනත්, වෑල්ව් එක පිෂ්ටනයේ වදින්නේ නැහැ.

එහෙත් ඒවා දැන් අඩුයි. මේ කාලයේ වැඩියෙන්ම එන්නේ Interference engines.  ඒ නිසා හරි වෙලාවට ටයිමින් බෙල්ට් එක මාරු කරන එක හොඳයි. රබර් ටයිමින් බෙල් එකක් මුලින්ම දාලා තියෙන්නේ, 1950 දී පන්හාර්ඩ් (Panhard)  රේසිං කාර් එකේ. එහෙත් සාමාන්‍ය නිෂ්පාදිත රථයක් ලෙස ටයිමින් බෙල්ට් දැම්මේ, 1960 විතර ඇමරිකාවේ නිෂ්පාදනය කල පොන්ටියැක් (Pontiac) රථයේයි.

චේන් එකකට වඩා එක හොඳක් මෙහි තියෙනවා. චේන් එකක් ක්‍රියාත්මක වන විට ඇති අමිහිරි ශබ්දය බෙල්ට් එකේ නැහැ. බෙල්ට් තද වෙන්නත් ස්ප්‍රින්ග්ස් හෙවත් සර්පිළ තියෙනවා. එහෙත් පිටින් දෙන තෙල් ප්‍රවාහයක් සමඟ තදවෙන Tensioners මේවාට නැහැ. එහෙත්, සමහර අවස්ථාවලදී එම සර්පිලයේ ඇතුලත හිරවුණු තෙල් සමඟ පිෂ්ටනයක් තියෙනවා. එහෙම වෙන්නේ Damp වෙන්නයි.

මේ අතරේ ටයිමින් බෙල්ට් එකෙන් ජල පොම්පයත් ක්‍රියා කරනවා. බොහෝ විට ටයිමින් චේන් එක මාරු කරන විටම ජල පොම්පෙත් මාරු කරන එක නුවණට හුරුයි. නැත්නම්, ජල පොම්පේ අවුලක් ආවාම නැවත ඔය සෙට් එකම ගලවන්න වෙනවා. කියනවා වගේ නොවේ, මේවා කරන්න ගියාම ලෙහෙසි නැහැ.

එක්තරා කාලයක් තිබුනා , වාහන නිෂ්පාදකයන් විසින් වාහනවල ටයිමින් චේන් ඉවත් කරලා බෙල්ට් දැමූ යුගයක්. එසේ කලේ වාහනේ එන්ජිමෙන් එන ශබ්දය අඩු කරන්නයි. දැන් එය අනෙක් පැත්තට වී ගෙන යනවා. එයටත් හේතුවක් තියෙනවා. දැන් හදන ටයිමින් චේන් විද්‍යාගාර වල පරිඝනක ඇසුරෙන් නිර්මාණය කර ඇත්තේ, අඩුම ශබ්දයක් එන විදියට සහ වැඩි ශක්තියක් ඇති විදියටයි.

වාහනේ මොන අවස්ථාවේදීද, ටයිමින් බෙල්ට් එකට වැඩිම ආතතියක් එන්නේ? …? . වාහනේ අදින භාරය සමඟ එහි ඇති සම්බන්දයක් නැහැනේ.. .. වැඩිම ආතතියක් එන්නේ එන්ජිම ස්ටාර්ට් කරන සහ නවත්වන අවස්ථාවේ. අන්න ඒ වෙලාවට බෙල්ට් කැඩෙන්න ඉඩ වැඩියි. මේ සම්බන්දව බොහෝ අයට අත් දැකීම් තියෙනවා. උදේට වාහනේ ස්ටාර්ට් කරන්න ගියාම, ස්ටාර්ට් වෙන්නේ නැහැ.

ඒ කියන්නේ ඊට පහුවදා නවතන විටදී, ටයිමින් චේන් එක කැඩිලා. හැබැයි, එහෙම  වුනත්, ඒ කියන්නේ ඒ  අවස්ථාවේ ටයිමින් බෙල්ට් එක කැඩුනත් එන්ජිමට හානි වෙන්න පුළුවන්. එන්ජිම ස්ටාර්ට් කරන විටදී සහ නවත්වන විටදී වැඩිය ඇක්සලරේටරය වැඩිය නොපෑගීමට මෙයත් එක් හේතුවක් වෙනවා,.

බාස් උන්නැහේ කෙනෙක් ගාවට ගිහින් ඇහුවොත් කියාවි, “කමක් නැහැ මහත්තය, පොතේ කිලෝ මීටර හැටදාහක් තිබුනට, තව විසිදහක් දුවන්න පුළුවන්”…කියා. (හොඳ බාස් උන්නැහේලා ඉන්නවා. ඒ අයට නොවේ මේ කියන්නේ,. මක-බාස් ලාට …) මේ අය කියන දේවල් ගණන් ගන්න එපා. ඔබේ වාහනේ ටයිමින් චේන් එක කැඩුනොත්, බාස් උන්නැහේ ඒක දාගන්න සල්ලි දෙන්නේ නැහැ…. වාහනේ දුවන කොට ටයිමින් චේන් එක් කැඩිලා,

එන්ජින් වලට වෙලා තියෙන දේවල් දුටුවොත් ඔබ පුදුම වේවි. පිශ්ටන්, වෑල්ව්, කෑම් ශාෆ්ට්ස් කැඩෙනවා. ඇද වෙනවා. එන්ජින් බ්ලොක් එකක් වුනත්, කැඩෙන්න පුළුවන්. ඒ වර්ගයේ එන්ජිමක් හදන්න බැහැ. අලුතින්ම එන්ජිමක් වාහනේට දාන්න වේවි. ටයිමින් බෙල්ට් පමණක් නොවේ, චේන් එක වුනත් ඔබටම දාගන්න පුලුවන්. හැබැයි, එය කරන්නට කිසියම් යාන්ත්‍රික දැනුමක් ඔබට අවශ්‍ය වෙනවා.

ඒ වාගේම අවශ්‍ය අඬු පඬු සහ, විශේෂයෙන්ම සේවා පොත (Service manual) අවශ්‍ය වෙනවා. ඔබ එය තනියම කරන්නට පෙර, හැකිනම් හිතවත් කෙනෙක් ගේ ගරාජ් එකකට ගොස් මේවා බලන එක හොඳයි. ‘නිසාන් සනි’ එකක බෙල්ට් එක දාන්න ඕනා ආකාරයේ ටයිමින් ක්‍රමයේ පින්තුර, පසුව මේ පෝස්ට් එකේ දමන්නම්.

 

 

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: